1. (වමේ සිට) SLINTEC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය තුෂාර පෙරේරා, එම ආයතනයේ සභාපති තිලාන් විජේසිංහ යන මහත්වරුන් අබු ඩාබිහි Inovartic Investments සමාගමේ සභාපති සහ සම-නිර්මාතෘ සයිෆ් අල් දාමාකි මහතා සමග.
2025 ජනවාරි, කොළඹ – ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ග්‍රැෆීන් මත පදනම් වූ තෙල් අවශෝෂණය කර ගන්නා අමුද්‍රව්‍යයක් නිර්මාණයකර එය බාර දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙතෙක් නොවූ විරූ ආකාරයේ කාර්යක්ෂමතාවකින් යුතුව මහා පරිමාණයෙන් පරිසරයට මුදා හැරෙන තෙල් අවශෝෂණයකර ගැනීමට හැකි පරිදි මෙය නිර්මාණයකර ඇත. ශ්‍රී ලංකාවේදී පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකර ගොඩනගා ඇති මෙම තාක්ෂණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Inovartic සමාගම සහ ප්‍රධාන පෙළේ ඉන්ධන සේවා සමාගමක් සමග එක්ව දියත් කිරීමට නියමිතය. මෙය, තිරසර සමුද්‍රීය පරිසර ආරක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.
ගෝලීය සමුද්‍රීය පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් බිලියන 172 ක දැවැන්ත වටිනාකමකින් යුතු වේ. මහා පරිමාණ තෙල් කාන්දු වීම් සහ එමගින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම කඩිනමින් වලක්වා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එම ක්ෂේත්‍රය සඳහා දැවැන්ත ඉල්ලුමක් ගොඩනැගී තිබේ. සම්ප්‍රදායික තෙල් කාන්දු පිරිසිදු කිරීමේ තාක්ෂණ මූලිකව පදනම් වී ඇත්තේ කෘත්‍රීම පොලිමර් අමුද්‍රව්‍යයක්වන polypropylene වැනි අමුද්‍රව්‍ය මතය. මෙමගින් යම් කාර්යක්ෂමතාවක් අපේක්ෂා කළ හැකි වුවත්, මෙවැනි අමුද්‍රව්‍ය මගින් දැඩි පාරිසරික අවදානමක් ඇති කරයි. ඉහළ මතුපිට පෘෂ්ඨය සහ අසමසම ශක්තිය වැනි සුවිශේෂී ලක්ෂණවලට ප්‍රකට අමුද්‍රව්‍යයක්වන ග්‍රැෆීන්, SLINTEC විද්‍යාඥයින් විසින් තෙල් කාර්යක්ෂමව අවශෝෂණය කර ගත හැකි සහ වර්තමානයේ පවතින තාක්ෂණික ක්‍රමවේදවල පවතින දුර්වලතා මගහරවාගත හැකි ලෙස වැඩිදියුණුකර ඇත.
SLINTEC ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම පුරෝගාමී තාක්ෂණය, නැවත භාවිතයට ගත හැකි, විෂ ද්‍රව්‍යවලින් තොර, පරිසර-හිතකාමී තාක්ෂණික ක්‍රමවේදයක් බැවින් එමගින් සාගර ජීවිතයට අහිතකර බලපෑමක් ඇති නොවේ. එහි ඇති විශිෂ්ට තෙල් අවශෝෂණ හැකියාව හේතුවෙන් මෙම තාක්ෂණය, තෙල් කාන්දුවීම් නිසා සිදුවන දැවැන්ත පරිසර හානිය අවමකර ලොව පාරිසරික ආරක්ෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි.
ඉහළ ගුණාත්මක බව සඳහා ප්‍රකට ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට් යොදා ගනිමින් SLINTEC ආයතනය මෙම තාක්ෂණය නිමවා ඇත. මෙම නවත ම නවෝත්පාදනය පිළිබඳ අදහස් පළ කරමින් SLINTEC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර පෙරේරා මහතා සඳහන් කළේ, “අපගේ නවෝත්පාදන ගෝලීය තලයේ ඇගයුමට ලක්වීම පිළිබඳ අප ආඩම්බර වනවා. බලපෑමක් සහිත විසඳුම් නිර්මාණය කිරීමේදී හවුල්කාරිත්වවල ඇති වැදගත්කම මෙම ගිවිසුම මගින් මනාව පෙන්නුම් කරනවා. Inovartic Investments Lanka (Pvt) Ltd සමාගම සමග ඇතිකර ගත් මෙම හවුල්කාරිත්වය මගින් මෙරට බිම් මට්ටමේ නවොත්පාදකයින් හට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, එමගින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීම සඳහා ඵලදායී ප්‍රතිඵල සහ හවුල්කාරිත්ව බවට නවෝත්පාදන පරිවර්තනය කිරීම සඳහා නව රජය සතු සැලසුමට සහයෝගය ලබා දීමටත් SLINTEC ආයතනයට හැකිවනු ඇත,” යනුවෙනි.
2022 වසරේ සිට SLINTEC ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන තිලාන් විජේසිංහ මහතා සඳහන් කළේ, “අබු ඩාබි විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත ග්‍රැෆීන් මධ්‍යස්ථානය මගින් ග්‍රැෆීන් ආශ්‍රිත නවෝත්පාදන නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමටත්, තාක්ෂණය පැවරීමේ ගාස්තු, හිමිකාරභාග සහ ලාභාංශ හරහා මෙරටට අපනයන ආදායම් උත්පාදනයකර දීමට SLINTEC ආයතනයට ඇති හැකියාව තවත් පුළුල් වනවා,” යනුවෙනි. විජේසිංහ මහතා සහ Inovartic සමාගමේ සභාපති සයිෆ් අල්දාමාකි මහතා අතර අත්සන් තැබුණු මෙම තෙල් කාන්දු අවශෝෂණ තාක්ෂණ පැවරීමේ ගිවිසුම, ගෝලීය තලය තුළ SLINTEC නවෝත්පාදන වාණිජකරණය කිරීම සඳහා අවශ්‍ය දිගුකාලීන හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරයි.
“අබු ඩාබි යනු, අවදානම් ප්‍රාග්ධනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන් පිටත සමාගම් සමග සබඳතා මෙන්ම යටිතල පහසුකම් හරහා නවෝත්පාදන ලොවට ගෙන යාමට මනා වටපිටාවක් ගොඩනැගී ඇති නගරයකි,” යනුවෙන් තිලාන් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.
මෙම සාර්ථකත්වය මත SLINTEC ආයතනය ග්‍රැෆීන් ආශ්‍රිත තාක්ෂණයන්හි ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරුකර ගැනීමට සැලසුම්කර ඇත. එම ආයතනය, බැටරි, සෙන්සර් සහ බලශක්ති විසඳුම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අවශ්‍ය ග්‍රැෆීන් ආශ්‍රිත උසස් නිෂ්පාදන පෙළක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.
இலங்கையின் முதற்தர குழந்தைப் பராமரிப்பு வர்த்தக நாமமான பேபி செரமி, Baby Cheramy Diaper Helpdesk என்ற நாட்டின் முதல் Generative AI…
Autodesk, together with its Value-Added Distributor Redington, recently hosted the Autodesk AEC Digital Construction Showcase…
அண்மையில் அறிமுகப்படுத்தப்பட்ட Parental Intelligence (PI) (பேரண்டல் இன்டெலிஜென்ஸ்) AI உதவித் தளமானது, இலங்கையின் கலாசாரத்துடன் தொடர்புடைய முதலாவது செயற்கை…
Nyne Hotels, Sri Lanka’s exclusive collection of luxury boutique properties, recently hosted an experiential showcase…
Appoints DPA as an authorised distributor for GWM in Sri Lanka Launches hybrid and new…
1st October 2025, Colombo: SOS Children’s Villages Sri Lanka marked World Children’s Day with the…